Monday, March 13, 2017

තරුණ අං



ආවට මුලින් කන් දෙකක් 
වටිනවනේ පස්සේ ආ අං කුට්ටමත්   
කාලේ හැටියට නැතිනම් අං දෙකක් 
වෙන්ට අමාරුයි හරකෙක් 
හිතුවේ එහෙමයි මමත් 
පුල්ලියත් සුදු කිරත් 

මැව්වද හීන කොච්චර කල් ඉඳන්
ලැබෙනකම් වයිරාගේ වගේ අං දෙකක්
බලහන්කො වැස්සියෝ වට කරන් 
වයිරා ඉන්න හැටි රජ කරන්  

දළු දාලා යන්තමට දෙක දෙපැත්තෙන්
මතු වෙද්දී ඇත්තේ වෙනදා නැති සැලකිල්ලක්
වයිරට තරම් සැප නැති වුනත් 
වැස්සියෙක් බැලුවා වරක් දෙවරක්

ළඟදී දවසක ඉඳන් 
ඔලුවේ දැනෙයි හරි ලොකු බරක්
වැඩි වෙනවා විතරමයි 
නැහැනේ කිසි සුවයක් 

ඇන්න මුත් වරු දෙකක් 
තඩිම තඩි කන්දකට පස්
වැඩි වුණා තව තවත් 
තිබුණ ඔලුවේ අමාරුවත් 

වයිරා ළඟටම ඇවිත් 
දුන්නා දැනමුතුකමුත්
ගතේ වෙහෙසට වැඩියෙන් 
හිතේ වෙහසයි ඉතින් 

උඹට ඇති තරුණ අං 
වැඩෙනවිට හෙමි හෙමින් 
උඹේ ඔලුවට දැනෙන 
බරට දැන් හුරු වෙයන් 

ඉවසපන් ඉවසපන් 
වැවෙනතුරු ඉවසපන් 
උඹේ ඔය තරුණ අං
වැවෙන තුරු ඉවසපන්

මදෑ කරගත්තු හරියක් 
ලැබෙනකම් දෙකක් අං  
හිත තවම කලබලෙන්
වැවෙනකම් තරුණ අං


පින්තුරේ ගැන : මේක ක්ලික් වුනේ 2017  මාර්තු, ලොකේෂන් එක Magnolia, TX 

කැමරාව නිකොන් D600, Focal length 300mm, Exposure time 1/320s, ISO400, f/5.6

Tuesday, February 28, 2017

ප්‍රගති සමාලෝචනය



ආවා තමයි අඩියෙන් අඩිය,
හිතුවේ ගැනම විතරයි ඉදිරිය,
තිබුණේ නෑ දෙයක් වෙන,
මඟ රැඳී බලා ඉන්න...

ගෙවුනත්දි වා රෑ  කොතෙක්, 
නැති වුණත් හරි විවේකයක්,
වුණා නම් මහන්සියක්,
සිතුවේ උඩටම එන්න...

ඇවිත් බැලුවම මඟක්,
තියෙයි යම් හිස්තැනක්,
නෑ හිතේ නිදහසක්,
ඇත්තේ මහ හිස්කමක්ය...

වැරදී ඇත යමක්,
මඟ හැරී ඇත ගොඩක්,
එත් නෑ විසඳුමක්,
නැවතුණොත් හැරුණොත් පරාදයි මම...


පින්තුරේ ගැන : මේක ක්ලික් වුනේ 2014  අගෝස්තු, ලොකේෂන් එක San Antonio river walk, TX, 

කැමරාව නිකොන් D60, Focal length 66mm, Exposure time 1/200s, ISO200, f/5.3

මිතුරේ කියන් සහ වෙනත් කතා

මේ කියන්න හදන්නේ අවුරුදු ගාණක් පරණ සින්දුවක් ගැන. කියන්නේ ප්‍රිහාන් මඩප්පුලි සමඟ AKA. ප්‍රිහාන් කියපු ප්‍රසිද්ධ සින්දු දෙකක් තමයි "යායට පායනා පෝ දා සඳ" සහ "වැව් තලේ". මේ දැන් කියන්න සින්දුව  තාම මතක ඇති කියලා හිතනවා. මතක නැතිනම් මෙන්න මතක් කරගන්න...


සින්දුවේ වචන මෙන්න,

(මිතුරේ කියන් ...)

මිතුරේ කියන්... මා දෙස බලන්...
ඔබ මා නෙත් හමුවිය හැකිදෝ...
එදා පටන්... අද වනතුරා... ඔබ හද රිදවන්නට මා...
කිමක් කලදෝ... කිමක් කලදෝ... කිමක් කලදෝ...

මිතුරේ පවසන් දිවියේ එන හැඟුමන්
කිසිවක් කරමින් මඟ හරවන්නේ
ඔබගෙන් සඟවා සිටිනා සෑමදා
පරලොවකට සම වූවා මේ ජීවිතේ...
පරලොවකට සම වූවා මේ ජීවිතේ...

(මිතුරේ... මිතුරේ...)
(දිවියේ... දිවියේ...)

මා ඔබ හට අත හිත දී සැපටත් දුකටත් සමවී
කිසිදා තනිකර නොදමා...
ඇයිදෝ මෙලෙසේ... මා ලෝකය අඳුරු කලේ...
ඔබ හට මා නොදෙමි සමා...

සොයුරන් සේ... අප හැදී වැඩී
කිසිදාවත්... නෑ සිටියේ වෙන් වී
ඔබ දෙදෙනා... අතරේ අගහිඟකම්
ඇති වුයේ කිමදෝ... කියා පවසන්

මිතුරේ පවසන් දිවියේ එන හැඟුමන්..
කිසිවක් කරමින් මඟ හරවන්නේ...
(ඔබ අප මිතුදම ඇයි බිඳ දැමුවේ)
ඔබගෙන් සඟවා සිටිනා සෑමදා....
පරලොවකට සම වූවා මේ ජීවිතේ...
පරලොවකට සම වූවා මේ ජීවිතේ...

ඔබ දෙදෙනා... අතරේ අගහිඟකම්
ඇති වුයේ... කිමදෝ කියා පවසන්

මිතුරේ කියන් දිවියේ එන හැඟුමන්..
කිසිවක් කරමින් මඟ හරවන්නේ...
ඔබගෙන් සඟවා සිටිනා සෑමදා....
පරලොවකට සම වූවා මේ ජීවිතේ...
පරලොවකට සම වූවා මේ ජීවිතේ...
පරලොවකට සම වූවා මේ... ජීවිතේ...

ගායනය: ප්‍රිහාන් මඩප්පුලි & AKA 
සංගීතය: අශි ෂෙරිෆ් (Azi Sheriff)
පද රචනය: සංඛ B 
සංගීත වීඩියෝ අධ්‍යක්ෂ: අයේෂ් විජේරත්න 

AKA කියන්නේ රංග B සහ Azi Sheriff දෙන්නගෙන් සමන්විත ගෘප් එකක්. එයාලා දැන් මොකද කරන්නේ කියලා නම් හොයාගන්න බැරි වුණා. ප්‍රිහාන් නම් කසාදෙන් පස්සෙම දැක්කේ නෑ. සින්දුව දවස් දෙක තුනකට කලින් ආපහු මගේ ඔළුවට ආවේ අර කලින් කියපු ප්‍රිහාන්ගෙ අනිත් සින්දු දෙක අහද්දී. මේ සින්දුවේ මගේ  ගත්තු දේවල් තමයි ගායකයෝ තුන් දෙනාගේ හඬවල්, සංගීතය සහ අමුතුම ආරක වීඩියෝ එක. මේක මුලින්ම ඇහුවේ සෑහෙන කාලෙකට කලින්. අයේෂ් මේක එයාගේ යූ ටියුබ් චැනල් එකට අප්ලෝඩ් කරලා තියෙන්නේ 2010දී. හැබැයි මගේ මතක නිවැරදි නම් මේක 2006-2008 කාලේ විතර තමා නිකුත් උණේ.

වීඩියෝ එක පටන් ගන්නේ අසල්වැසි ගෙවල් දෙකක ඉන්න යාලුවෝ දෙන්නෙක් සඳළුතල දෙකේ ඉඳන් රවාගෙන වගේ බලන් ඉන්න එකෙන්. එතනින් එහාට වීඩියෝ එකේ පෙන්නන්නේ මේ යාලුවෝ දෙන්න අතරේ වෙච්ච රණ්ඩුවක් පටන් ගත්තු තැනට පස්සෙන් පස්සට යන හැටි. පේන විදියට සංඛගේ පෙම්වතී සහ ප්‍රිහාන් අතර පොඩි මෙව්වා එකක් තියෙනවා. සමහරවිට කලින් යාළුවෙලා ඉඳල තියෙනවා වගේ. වීඩියෝ එකේ අන්තිම හරියේ පොතේ පිටු පෙරළෙන කොට පේනවා ඔය ගැහැණු ළමයාගේ පින්තුරේ පාවාදීම (betrayal) කියන වචනෙත් එක්ක පෙන්නන එකෙන් ඒක තහවුරු වෙනවා. අනිත් ලස්සනම දර්ශනේ තමයි ප්‍රිහාන් ගැහැණු ළමයාගේ මුහුණට මුහුණ බලන් ඉන්න දර්ශනය (රණ්ඩුව සාධාරණයි වගේ).


දැන් වැදගත්ම දේ, මේ ආපස්සට යන වීඩියෝ එක. අයේෂ්ම පැහැදිලි කරන විදියට එය පාවිච්චි කරන්නේ reverse chronology (ආපසු කාල නිර්ණය) කියන කොන්සේප්ට් එක. වීඩියෝ එක ආපස්සට ගියාට සින්දුව කියන්නේ හරි විදියට. කොහොමද ඉතින් මෙයාල මේක කළේ? වීඩියෝ එක කැමරා කරද්දී ප්‍රිහාන් එහෙම ඇවිදින්නේ හරි පැත්තට. හැබැයි එතකොට එයාලා සින්දුව කියන්නේ ආපස්සට. එයාල එක ආපස්සට රෙකොර්ඩ් කරලා ගායනා කරන ගමන් තමයි රඟපාන්නේ. ලේසි වගේ නේද වැඩේ? මට නම් එහෙම හිතෙන්නේ නෑ. කෝ කට්ටිය බලන්නත් එක්ක මෙන්න මේ කෑල්ල කියමු තාලෙට,



"න්ලබ සදෙ මා... න්යකි රේ...තුමි"


වැඩි විස්තර සඳහා මෙන්න මිතුරේ කියන් වීඩියෝව හදන හැටි ගැන කියවෙන වීඩියෝ එක.



හි හී, හරි ඉතින් what to take home? අද කාලේ හොටු පෙරාගෙන අඬන වීඩියෝ බලන අතරේ මේ වගේ වීඩියෝ එකක් කොච්චර වටිනවද කියලා මට හිතුණා. අයෙෂ්ට මේ වගේ අදහසක් ආපු එක සහ අවුරුදු ගානකට කලින් මේ කරපු වැඩේ අදටත් රස විදින්න පුළුවන් විදියට තියෙන එක හරිම වටිනවා. 

ඔව් දැන් මට මග ඇරුණු පොයින්ට් එක, ටොපික් එක මෙතනින් එහාට සම්පුර්ණයෙන්ම වෙනස් වෙනවා. මේ වගේ දෙයක් කරපු අයේෂ් දැන් මොකද කරන්නේ කියන දේ... එක පාර ලොකු කුතුහලයක් ආවා මට. ඉතින් හොයාගෙන හොයාගෙන ගියා අයේෂ් මහත්තයාගේ digital footprints දිගේ. යූ ටියුබ් එකේ සහ ෆේස්බුක් එකේ...

ඒක එක විදියක ලෝකයක්, මං නමින් දැනන් හිටියේ නැති වුණාට අයේෂ්ගේ නිර්මාණ මගේ ෆෙවරිට් ලිස්ට් එකේ තියෙන බව මට තේරුණා. කිහිපයක් කිව්වොත් එහෙම,
සහ ඔය අස්සේ තව අළුත් සින්දුවක් දැක්කා රහස් (මිලින් රූපසිංහ) කියලා.
(මෙතැන තියෙන සින්දුවක් බලන්න ඕනි නම් සින්දුවේ නම උඩ ක්ලික් කරන්න. යූ ටියුබ් වීඩියෝ එකට ලින්ක් කරලා තියෙන්නේ. )

අයේෂ්ගේ නිර්මාණ වල තියෙන වෙනස තමයි "වෙනස". එකිනෙකට එකක් වෙනස්. එකම විදියේ කම්මැලි රූප රචනා අතරේ අයේෂ්ගේ මුලිකත්වයෙන් තැනුණු මේ නිර්මාණ පැහැදිලිවම කැපී පේනවා. අයේෂ් දැනට The Colombo Films කියන නිර්මාණ ආයතනයේ අධ්‍යක්ෂ සහ රචකයෙක් විදියට වැඩ කරනවා. ඒ වගේම ඔහු දක්ෂ දෘශ්‍ය ප්‍රයෝග ශිල්පියෙක්. මෙතනින් ගිහින් බලන්න කැස්සට කොස් ඇට ගීතය හදන හැටි. මේකේ VFX අයේෂ්ගේ.

අන්තිමට ඉතින් කියන්න තියෙන්නේ, අයේෂ්ගේ තවත් වැඩ කිඩ බලාගන්න කැමති නම් මෙතනින් එයාගේ ෆේස්බුක් පේජ් එකටයි, යූ ටියුබ් චැනල් එකටයි ගිහිලලා ෆලෝව් කරන්න.



මේක මඟුල් සක්වලක් - II

ඉවරයක් නැති වෙඩින් කතාවේ දෙවෙනි කොටස මෙතැන් සිටමුල් කොටස මෙතැනින් කියවන්න.

11. ෆෝටෝග්‍රැෆි/ වීඩියෝග්‍රැෆි සඳහා කට්ටිය 

Photo credits : Duminda Kalansuriya
මේකට නම් ඉතින් කාව හොයාගන්නද කියලා තෝරාගන්න එක     ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. පොඩ්ඩක් හොයලා බැලුවොත් සෑහෙන ටැලන්ට් එක තියෙන කෙනෙක්ව හොයාගන්න බැරි වෙන එකක් නෑ. සමහර කට්ටිය ගාව තියෙන්නේ එකම කොන්සේප්ට් එක. සීමාසහිත කැමරා කෝණ ටිකක්, තවත් සමහර අය අළුත් අළුත් විදියේ වැඩ කරන්න කැමති. කොහොමත් මේ හැම කෙනෙක්ම තමන්ගේ ෆොටෝස් දාලා ෆේස්බුක් පේජ් එකක් හරි portfolio එකක් හරි පවත්වාගෙන යනවා. මේවා බලලා තමන්ට පුළුවන් ගැලපෙන ඡායාරූප ශිල්පියාව තෝරාගන්න. වීඩියෝ එකත් ඒ කෙනාම කරන චාන්ස් එක වැඩි. එයා ඒක නොකළත් අනිවා  වීඩියෝග්‍රැෆි කරන වෙන කෙනෙක්ව collaborate කරන්න හැකියාව තියෙනවා. මොකද ඉතින් ඔය දෙකම එක වගේ එක විදියේ ඉල්ලුම් තියෙන හින්දා, ඉල්ලුමට සැපයුම විදියට එයාලා එකතු වෙලා තමයි වැඩේ කරන්නේ. මේකත් සැරසිලි වගේ තමයි. පැකේජස් තෝරාගන්න පුළුවන්. කැමරා කොලිටිය, වීඩියෝ කොලිටිය, දවස් ගාන අනුව වියදම වෙනස් වෙන්න පුළුවන්. 

12. සින්දු කියන්න බෑන්ඩ් එකක්/ ඩිජේ කෙනෙක්

එක්කෝ ගෘප් එකක් ගෙන්න ගන්න පුළුවන්, බුක් කරන්න හැකියාවක් තියෙනවා නම්. නැත්නම් ලේසිම වැඩේ තමයි ඩීජේ කෙනෙක්ව ගන්න එක. (සියළුම සින්දු එක වහලක් යටින්) ඔය කවුරු තෝරගත්තත් හැකියාවක් තියෙනවා නම් වෙඩින් එකේදී කියන සින්දු ගැන හරි අවධානෙන් ඉන්න. ඔය "අවසර නැත මට ඔබෙ අත ගන්නට" වගේ සින්දු කියන්න දෙන්න එපා. හොදම වැඩේ තමයි, සින්දු ලිස්ට් එකක් හදලා අදාළ කෙනාට දෙන එක (ඒ ලිස්ට් එකටත් අර සින්දුව වැටුණොත් ඉතින් එක වෙනම සිද්ධියක්). 

13. ඩාන්සින් ගෘප් එකක් (ඩාන්සින් ක්ලාස් එකකුත් හොයනවා සමහර අය නම්)

ගොඩක් වෙලාවට ඩාන්සින් ගෘප් එකක් ගෙන්න ගන්නේ පොඩි වෙනසකටත් එක්ක. සමහරවිට නිකම් පාළුයි පාළුයි වගේ ගතිය නැති කරන්න සහ වෙලාව යවාගන්න. හැබැයි අයිටම්ස් ගාන වැඩි උණත් ටිකක් බෝරින්ග් වෙනවා. අනික තමයි අයිටම්ස් එකින් එකට වෙනස් නම් (ඇඳුම් පැළදුම් විතරක් නෙමෙයි, පසුබිම් සංගීතය වගේ දේවල්). දැන් ඉතින් ඔය සර්ප්‍රයිස් ඩාන්ස් කියලා ජාතියකුත් තියෙනවනේ. ඒවාට පන්ති එහෙම ගිහිල්ලා, මනමාලිගේ මනමාලයාගේ යාලුවෝ එහෙමත් එක්ක දාන ඩාන්ස් ඕනි තරම් ෂෙයාර් වෙනවා දැකලත් ඇතිනේ. අනේ ඒ වගේ දෙයක් නම් දෙන්නාම කැමති නම් විතරක් කරන එක හොඳයි. නැති නම් ඉතින් බලන් ඉන්න අයට ජෝක් එකක් වෙන එක නවත්තන්න බැරිවෙයි.

14. මඟුල් කාර් එකක් දෙකක් 

රෙන්ට් කරනවා නම් එහෙමයි, දන්නා කෙනෙක්ගෙන් ඉල්ලා ගන්නවානම් එහෙමයි. කොහොම කළත් පොඩි ඩෙකෝර් පාරක් දාගන්න වෙනවා. දැන් කට්ටිය ලිමොසින් එහෙම හොයනවා, ලක්ෂරි කාර් හොයනවා, අශ්ව කරත්ත, බක්කි කරත්ත එහෙමත් ගන්නවා සහ ඒ වගේ දේවල් රෙන්ට් එකට දෙන තැනුත් තියෙනවා.




15. හනිමුන් එකට ලොකේෂන් 

The Ark, Kaluthara
ඕක නම් ඉතින් සංකීරණ වැඩක්, පොකැට් එකට ගැලපෙන්නත් ඕනි, අමතක නොවෙන තැනකට යන්නත් ඕනි. සමහර විට මනමාලයා සද්ද නැතිව ඉඳල තැනක් එහෙම බුක් කරලා සර්ප්‍රයිස් කරන්න වගේ අන්තිම මොහොතේ කියලා දානවා මෙන්න මෙහෙ යමු කියලා. කොහේ ගියත් තමන් යන තැන මොන වගේද, සර්විස් එක සහ ආරක්ෂාව ගැන හිතලා යන එක ඇඟට ගුණයි. ඔය හනිමුන් ඩෙස්ටිනේෂන් වලට ගිය අය ලියලා තියෙන රිවිව්ස් එහෙම කියවලා බලන එක හොඳ වැඩක්.

16. ප්‍රී-ෂුට් එකට ලොකේෂන් 

ගොඩක් වෙලාවට ඡායා රූප ශිල්පියම ඕක ගැන බලාගන්නවා. හැබැයි ඉතින් තමන්ටත් හොඳ ලොකේෂන් ගැන අදහසක් තියෙනවනම් මුලින් කියන එක හොදයි.


17. අෂ්ටක කියන්න අන්කල් කෙනෙක්

පෝරු වෙඩින් එකක් නම් අෂ්ටක කියන්න කෙනෙක් ඕනිනේ. ඕවත් දැන් නම් පැකේජ් තමයි, එකට අෂ්ටක කියන කෙනයි, උඩරට නැට්ටුවෝ ටිකයි, ජයමංගල ගාථා කියන ගැහැණු ළමයි ටිකයි වගේ දේවල් අයත් වෙනවා. ඔය පෝරුවේ වැඩේට එක එක බඩු ඕනි වෙනවා. ඒවායේ ලිස්ට් එකක් ඔය අෂ්ටක අන්කල්ගේන්ම ඉල්ලගෙන ලැස්ති කරලා තියන්න. මෙතනදීම කියන්නම් පල්ලියේ ගන්න වෙඩින් එකක් නම් පුජකතුමත් එක්ක කතා කරලා අවශ්‍ය දේවල් ලැස්ති කරගන්න ඕනි. 
18. වෙඩින් කාඩ්

තෝරාගන්න ඩිසයින් කෝටියයි, හැබැයි ඉතින් තමන්ට ගැලපෙන කැමති එකක් තීරණය කරගන්න කඩ දෙක තුනකට ගියාට පාඩු නෑ (වෙළඳපොලේ රවුමක් යන්න මිල ගණන් සසඳන්න). ඔය මැද්දේ ගහන වචන ටික ලියාගෙන, වැඩිහිටියෙකුට පෙන්නලා, සෝදුපත් බලාගෙන යන එක හොඳයි. අනික තමයි එක ප්‍රින්ට් කරන්න දුන්නට පස්සෙත්, අන්තිම ප්‍රින්ට් එකට කලින් අකුරු ටික ටයිප් කරලා තියෙනවා හරිද කියලා බලන එක තමා නුවණේ. ඔය කොටුව පැත්තේ එක කඩ පේලියක්ම තියෙනවා වෙඩින් කාඩ් තියෙන.

19. වෙඩින් කේක්
Image source

වෙඩින් එකට එන මිනිස්සු වෙඩින් එක මනින එක සාධකයක් තමයි වෙඩින් කේක් එක (අනිත් සාධක අතර මනමාලිගේ සාරිය, සාරි ජැකට් එක, තැන්කු කාඩ් එක, මෙනු එක, ඩෙසර්ට් බාර් එක වගේ දේවල් තියෙනවා). ඒ හින්දා ටිකක් කියලා ලොකුවට කේක් කෑල්ලක් හදාගන්න ඕනේ. සමහරවිට අඳුරන කේක් හදන ඇන්ටිලා එහෙම ඇති. හැබැයි හරි විදියට වෙඩින් කේක් හදන්න නම් පොඩි කාලයක් යනවා. ඒ හින්දා තමන් හදනවානම් ඒ ගැන පොඩි අදහසක් තියාගන්න වෙයි. තවත් කේක් එකක් ඕනි කපල කවාගන්න. කේක් කිව්වට කපන්න තියෙන්නේ පොඩි කේක් පෙත්තක්. වැඩි හරිය තියෙන්නේ ලස්සනට හදපු ස්ට්‍රක්චර් එක. දැන් නම් කට්ටිය කේක් වෙනුවට කිරිබත් එහෙමත් කපනවා. 

20. (බොන්න දෙනවනම්) ඩියුටි ෆ්‍රී ලිකර් සහ වෙනත් බීම/ බයිට්

වෙඩින් එකේදී බොන්න දෙන එක ගැන විවිධ මත තියෙනවා. කටුස්සාගේ මතය නම් බොන්ට දෙන්ට ඕනි නෑ කියන එකයි. එකක් බිව්වම ප්‍රශ්න ගොඩයි, අනික බොන මිනිස්සුන්ට බොන්න දීල පිරිමහන්න බැරි කම. වෙඩින් වලට බොන්න බලාගෙනම එන අංකල්ලා එහෙම හෙන වාත වෙනවා. ඒ හින්ද බොන එලිමන්ට් එක සම්පුර්ණයෙන්ම අයින් කරන්න පුලුවන්නම් ගොඩක් හොඳයි. හැබැයි කවුරුහරි කෙනෙක් බොන්න දෙන්න ඔනිමයි කියලා පොළොවේ හැපී හැපී අඬනවානම් වෙන විසඳුමක් නෑ බොන්න දෙන එක ඇරෙන්න. හැබැයි ඉතින් දෙන එක ලිමිට් එකක් තියාගෙන දෙන එක තමයි ඇඟට ගුණ.

21. හරි මෙන්න මට අමතක වෙච්ච නැතුවම බැරි දෙයක්. ඒ තමයි විවාහ රෙජිස්ටාර් කෙනෙක් හොයාගන්න එක.  මේකට නම් වැඩිහිටියෙක්ගේ උදව්ව ගන්න එක වටිනවා. මේකත් කල් තියලා කරගන්න ඕනි මොකද නැකත් දවස්වලට රෙජිස්ටර්ලට මාර ඉල්ලුම. දවසට වෙඩින් දෙක තුනකට හතරකට යන්න වෙනවා. කලින්ම ගිහින් දිනේ වේලාව වෙන් කර ගත්තම කෝකටත් හොඳයි. අනේ පුතී දුවී, ඔය නම් ගම් ලියන්ට දෙන කොට හොඳට බලන්න හරි වැරදි. නැත්නම් පස්සට ප්‍රශ්න එනවා ඕවා හරි ගස්සගන්න කියලා. අකුරක් ගානේ බලන්න.

හරි මට මතක ලිස්ට් එක ඉවරයි. දැන් ඉතින් මෙතනින් කොතනටද? බැලූ බැල්මටම පේනවා මේක කොච්චර සංකීරණ වැඩක්ද කියලා. හැබැයි ඒක මෙච්චර  සංකීරණ උනේ ඇයි? මේ දවස් දෙකක වැඩේට කොච්චර වියදමක් යනවද? කොච්චර මහන්සියක් යනවද? මේවා ඇත්තටම අත්‍යවශ්‍ය දේවල්ද? හොද ප්‍රශ්නයක් අන්න. මේ හැම දෙයක්ම අත්‍යවශ්‍යද? දවස් දෙකක සතුට වෙනුවෙන් අවුරුදු පහක් එකතු සල්ලි සේරම වියදම් කරනවනම් හරි තව අවුරුදු පහක් ණය ගෙවනවනම් හරි එතන තියෙන හරය මොකක්ද? මේ හැම දේටම මූලික වෙන්නේ මං මුලින් කියපු දේ තමයි. යමක් පිස්සුවක් උනොත් තමයි එකට අදාළ ඉන්ඩස්ට්‍රී එකට පැවැත්මක් තියෙන්නේ. කොහෙන්ද ඉතින් මේ වෙඩින් පිස්සුව පටන් ගත්තේ? 

හරියටම කියන්න අමාරුයි, හැබැයි ඉතින් කාලයත් එක්ක ක්‍රමානුකුලව මිනිස්සුන්ගේ හිත් වලට කාවැදිලා තියෙනවා වෙඩින් එකක් නම් සුළුවට ගන්න බෑ කියන දේ. ඒ නිසා ඉතින් හැම දෙයක්ම ඉස්තරම්ම විදියට කරන්න තමා හදන්නේ. ගොඩක් වේලාවට හෝල් එකක් තෝරාගන්න ගියොත් තියෙන ගණන්ම හෝල් එක බුක් කරනවා. ගණන්ම මෙනු එක තෝරාගන්නවා. අල්ලන්න අමාරුම අන්දන කෙනෙක්ව හොයනවා. බරම බරට වර්ක් දාපු ඇඳුම් පැළදුම් තෝරාගන්නවා, නැතිනම් ප්‍රසිද්ධ කෙනෙකුට කියලා වර්ක් කරගන්නවා. තියෙන ලක්ෂරිම වෙඩින් කාර් හොයනවා. 


හැබැයි ඉතින් ඇත්තටම එහෙම කරන්න ඔනිකමක් තියෙනවද? මගේ නම් උත්තරේ "නැහැ" කියන එකයි. ඇත්තටම වියදම් කරන්න ඕනි වෙඩින් එකටද? ඊට පස්සේ උදා වෙන ජිවිතේටද? තියෙන සබ්බ සකල මනාව දවසක දෙකක සතුටට වියදම් කරලා ඊළඟට එන කාලය ලොස් වෙලා ඉන්න වෙනවනම් අර දවස් දෙකේදී තුනේදී ලබාගත්තු සතුටත් අපරාදේ. ඔව් ඉතින් උතුරන්න සල්ලි තියෙනවානම් කොච්චර වියදම් කලත් කමක් නෑ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් (වියදම් කරන කෙනාට අවුලක් නැතිනම් අපිට මොකද නේද?). ඔව් එහෙමත් හිතන්න පුළුවන් තමයි. හැබැයි එක, හැමෝටම එහෙම වියදම් කරන්න සල්ලි නෑ. දෙක, එහෙම සල්ලි තිබ්බත් වෙඩින් එකක හරය නොදැන වගේ ඔහේ සල්ලි වියදම් කරන එක අනුමත කරන්න බැරි කම. එක හින්ද තමයි මේ "කොස්ට් කටින්" කියන කතාව එලියට එන්නේ. වියදම වැඩියි කියලත් හැමෝම දන්නවා (නැත්නම් දැන දැනත් ලොකුකමට සද්ද නැතිව ඉන්නවා). අදාළ නෑනේ, කමක් නෑ ඒ ගැනත් පොඩ්ඩක් කියමු.

ඉතින් ලඟදි බදින්න ඉන්නවානම් මුලින්ම හිතලා බලන්න මොන හේතුවක් නිසාද වෙඩින් එකක් ගන්නේ කියලා. මඟුලක් කියන්නේ ඉතින් තමන් තෝරගත්තු තමන්ට ගැලපෙන සහකරු/ සහකාරිය සමඟ මෙතනින් එහාට ජීවිතේ එකට ගත කරන බව තමන්ට සමීප අයට කියන උත්සවයක්නේ. හරි එහෙනම් එතැන ඉඳලා වැඩේ ප්ලෑන් කරන්න පටන් ගන්න. සමහර විට ගෙදර අයට ඕනි වෙයි අනිත් පවුලේ අයට සෙකන්ඩ් නොවී උත්සවයක් ගන්න. හැබැයි ඔය දෙන්න තමයි එතැනදී වටිනාම තීරණේ ගන්නේ ඕනි. වෙඩින් එක කියන්නේ කාගෙවත් හයිකාරකම් පෙන්නන තැනක් නොවන බවත් ඒක ඔබ දෙදෙනාගේ පහසුවට සහ කැමැත්තට අනුව සිදු විය යුතු බව තේරුම් ගන්න පුළුවන් නම් වටිනවා. මේ තියෙන ක්‍රමයත් එක්ක මගේ නම් අදහස පවුල් දෙකම එකතු වෙලා එක දවසක් පිළිවෙලට උත්සවයක් ගන්න එක ප්‍රමාණවත් වෙයි. (තව කලින් කියන්න බැරි වෙච්ච දෙයක්. නැකත් වලට වහල් වෙන එක නම් එච්චර හොද දෙයක් නෙමෙයි. පමණ දැන අත්‍යවශ්‍ය දේවලට පමණක් නැකත් හදන එක ප්‍රමාණවත්)

ආරාධනා කරන ලිස්ට් එක හදද්දී උනත් හොඳට හිතල බලලා කිරලා මැනලා හැදුවට පාඩු නෑ. වෙඩින් එකකට ඉන්වයිට් කරද්දී තියෙන ලොකුම ප්‍රශ්නේ නොකිව්වොත් කතා අහන්න වෙයි කියන එකනේ. හැබැයි ඉතින් එහෙමයි කියල නෑදෑකම් හද හද ඉන්වයිට් කරන එක අපරාදයක්. නෑදෑකමට වඩා වටින්නේ ඕනෑකම. එක ඔලුවේ තියාගෙන ලිස්ට් එක දියුණු කරගන්න. කොහොම හරි දෙපැත්තේ ලිස්ට් දෙක එකතු කරලා දරන්න පුළුවන් තරමට ලිස්ට් එක අඩු කරන එක හරි වැඩි කරන එක හරි කරගන්න. එතනදිත් කියන්න තියෙන්නේ තමන්ගේ පුළුවන්කාරකම් පෙන්නන්න හදන යට ඉඩ දෙන්න එපා කියන එකයි. 


Photo credits: Dewmi Studio
හෝල් එකක් හොයන්න ගියත් හිතේ තියාගන්න හෝල් එකේ නමට වඩා වැදගත් දේවල් තියෙන බව. පහසුකම්, කෑම බීම, ප්‍රමාණවත් ඉඩ පහසුකම්  වගේම  ලේසියෙන් ළඟාවෙන්න හැකි බවත් අනුව හොඳ තෝරාගැනීමක් කරන්න පුළුවන්. ඔව් ඉතින් එක හෝල් කිහිපයකට ගිහින් සංසන්දනය කරල බලන්නම වෙනවා ඉතින්. 3000, 4000, 5000 ප්ලේට් නැතිවට කටට රහට කන්න දෙන තැනක් හොයාගන්න.

ඇඳුම් උණත් නිර්මාණය කරද්දී හිතන්න තියෙන දේ තමයි, ඔය ඇඳුම අඳින්නේ එක දවසයි.  වැඩිම උණොත් තව කෙනෙක්ගේ මඟුලකට අඳී. නැත්නම් පහු කාලෙක බඳින කෙනෙකුට පරිත්‍යාග කරයි. බරට බරේ වර්ක් කරන් ඕවා ඇඳන් ඉන්න පුළුවන්ද? පැය ගාණක් ඇඳන් ඉන්නත් එපාය. ඇඟට පහසු වෙන්නත් ඕනි. ඇදුමේ රෙද්දට හරි අල්ලපු සිකුයින්ස් වලට හරි ඇඟ කහන්න ගත්තොත් එදාට සොරිම තමයි. අන්දන කෙනාට උණත් ඔහේ මේක් අප් දාන්න දෙන එක නුවණට හුරු නෑ. සමහර අය මේක් අප් දාන්න කලින් හරිම ලස්සනයි. එහෙම තියාගෙනත් බොරුවට මේක් අප් උලාගෙන අන්තිමට යක්කු වගේ ඉන්නවා ලස්සනම දවසක.

සමහර විට හිතෙන්න පුළුවන් හරිම ප්‍රසිද්ධ ඡායාරූප ශිල්පියෙක්ව තෝරාගන්න. නමට විතරක්ම රැවටෙන්න එපා. වැඩිය ප්‍රසිද්ධ නොවුණත් ලස්සනට වැඩේ කරලා දෙන්න පුළුවන් හොඳ කෙනෙක්ව හොයාගන්න අමාරු නෑ. ඒක එක අතකින් මේ ඉන්ඩස්ට්‍රී එකේ තියෙන එක හොඳ දෙයක් වෙන්නත් පුළුවන්. ඔය ගහන ෆොටෝ ටික ලේසියෙන් ගන්න බැරි, ළමයි හම්බෙනකම් වත් වෙඩින් ඇල්බම් එක නොදෙන බිසිම බිසී උදවිය තෝරාගෙන අමාරුවේ වැටෙන්න එපා.

තව කියනවානම් නිතරම දකින්න පුළුවන් වෙඩින් කාඩ්, වෙඩින් කේක් සහ වෙඩින් කාර් වගේ දේවල් වලට අධික ලෙස වියදම් කරනවා. වැඩි වියදමක් දරනවා = ලස්සන වැඩක් කරනවා කියන එක නම් හරිම අනුවණ කමක්. බේසික් ඩිසයින් එකක් තෝරාගෙන පොඩි අත්වැඩ පාරක් දාල ගත්තම ලස්සන වෙඩින් කාඩ් එකක්  හදාගන්න එක අමාරු වැඩක් නෙමෙයි. ලිමොසින් එකක ගියත් කැම්රියක ගියත් යන්නේ එකම තැනටනම් ඇයි පොත්තට වැඩිපුර ගෙවන්නේ? 

හරි දැන් ඉතින් කෙනෙක් කියන්න පුළුවන් අපි දැනටත් ඔය ටිකම තමයි කරන්නේ කියලා. එහෙම කරනවා නම් එක ඉතාම හොඳයි. ගොඩක් අය එහෙම නොකරපු සහ නොකරන එකෙන් තමයි මේක මෙච්චරට පිස්සුවක් වෙලා තියෙන්නේ. අනිත් අයට වඩා අළුත් දෙයක් කරන්න හිතන එක හොදයි. හැබැයි ඒ කරන දෙයින් තමන්ටවත් අනුන්ටවත් ගත යුත්තක් නැත්නම් හැකි තරම් සරලව සුගමව වැඩේ කරගන්න එක තමයි හොඳ. බැරිකමක් නෑ. හැබැයි පොඩ්ඩක් හිතන්න ඕනි, "අම්මෝ වෙඩින් එක, ලොකුවට ගන්න එපාය" කියන තැනම වැඩේ සංකීරණ වෙන්න පටන් ගන්නවා. අතේ මිටේ සල්ලි තියෙනවනම්, අම්මලා තාත්තලා මඟුලට වියදම් කරනවානම්, ඔන්න ඔහේ වැඩිපුර සල්ලියක් වියදම් කළාට කමක් නෑ කියලා හිතෙනවනම් එක එච්චරම හොද දෙයක් නෙමෙයි.

Photo Credits: Lakshal Perera



අනවශ්‍ය විදියට වියදම් කරන හැම සතයකම හරි වටිනාකම දැනෙන්නේ ඒවා ඕනි වෙන දවසටයි. ඔය ළමයි බමයි හැදෙන දවසට වගේ ඕක වැඩිපුරම තේරෙයි. අන්න ඒ වගේ දවසක පසු තැවෙනවාට වඩා, සරලව තමන්ගේ ජිවිතේ ලස්සනම දවස අනිත් අයත් එක්ක බෙදාගන්න පුලුවන්නම් කවුරු සතුටු වුනත් නැතත් තමන්ට නම් දවසක හොඳටම සතුටු වෙන්න පුළුවන් වෙයි.


................................



Monday, February 27, 2017

In(dependence)


පින්තුරේ ගැන : මේක ක්ලික් උනේ 2017 පෙබරවාරි, ලොකේෂන් එක San-jacinto Battleground, Houston TX, USA, කුරුල්ලාගේ නම Northern cardinal (Cardinalis cardinalis), පිටිපස්සේ තියෙන කනුව වගේ එකට තමයි San-jacinto Monument එක කියන්නේ. එසේ මෙසේ කණුවක් නෙමෙයි, ආදී 567ක් උසයි. උඩම තියෙන තරුව (Lone star of Texas) ටොන් 220ක් බරයි. විකිපීඩියාණෝ කියන විදියට ලෝකේ තියෙන උසම කුළුණු ස්මාරකයලු.

කැමරාව නිකොන් D90, Focal length 135mm, Exposure time 1/640s, ISO200, f/5.6, බැලූ බැල්මටම පේනවනේ කොච්චර අහඹු කිලික් එකක්ද කියලා...

What to take home: ඔය කනුව හදල තියෙන්නේ ඔය ස්ථානයේදී වෙච්ච යුද්ධයක් සහ ඒ යුද්ධෙදි ජීවිත පුජා කරපු අයව සිහි කරන්න කියලා. ඔය තැනට යන්න තියෙන්නෙත් නිදහසේ මාවත (Independence Parkway) දිගේ. නිදහස සමරන්න ලොකු ලොකු දේවල් කලාට අපි ඇත්තටම නිදහස්ද? වෙලාවකට අපි හිතනවා අපි වැඩ වලින් නිදහසක් අරගෙන පොඩි විනෝදයක් ගන්නවා කියලා. විනෝදෙ ගන්න යන්නේ හරියට නිකන් මේ කුරුල්ලා අහසේ පියාඹන්න යනවා වගේ නෙමෙයිද. හැබැයි ඉතින් නිකන් හිතෙන්නැද්ද පියාඹන්න ගියාට අපේ අත්තටු කපලා කියලා. අත්තටු තිබ්බත් ඒවා විහිදන්න තරම් නිදහසක් නෑ කියලා. අපි විනෝදෙන් ඉඳලා ආපහු ගෙදරට හරි වැඩට හරි යන්නේ පරණ හිතේ බරම අරගෙන නෙමෙයිද? නිකන් හිතන්නකෝ කොච්චර සති අන්තයේ ජොලි කෙරුවත් සඳුදාට වැඩට යන්නේ චුරු චුරු ගගා නෙමෙයිද? ගොඩක් අයගේ කතාව එහෙම තමයි. නිදහස් (independent) කියලා කිව්වට ඔබ ඇත්තටම ඉන්නේ යම් දෙයකට යටත් වෙලා (dependent). සමහරවිට ඒ ඔබේ රැකියාවේ වගකීම් වෙන්න පුළුවන්, පවුල වෙන්න පුළුවන්, ඉගෙන ගන්න දේ වෙන්න පුළුවන්. හැබැයි ඔය හැම දේටම වැඩ වැදගත් වෙන්නේ ඔබ ඔබගේම සිතිවිලි වලට යටත් වෙලාද කියන එකයි. ඒක නම් තත්ත්වය, එකට විසඳුම එහෙම නැත්නම් "නිදහස" තියෙන්නේ ඔබ ළඟමයි. ඉතින් කොහොමද එක හොයාගන්නේ. කියන්නේ හරියටම දන්නේ නෑ. මාත් තාම හොයනවා.. හොයාගත්තු දවසක කියන්නම්. මට කලින් එක ඔබ හොයාගත්තොත් මටත් කියල දෙන්න... 

හැබැයි ඉතින් ඔබේ කතාව ඇත්තටම මේ වගේ නෙමෙයි නම්, ඔව් සතුටු වෙන්න ඔබේ ජීවිතේ එසේ මෙසේ එකක් නෙමෙයි, ඕක තමයි නියම නිදහස, ඔබ කරන්නේ ඔබ කැමති දෙයක් බවයි එකෙන් කියවෙන්නේ. 


මේක මඟුල් සක්වලක් - I

පසු සටහන කලින්ම: මේක පලවෙනි පොස්ටුවනේ, එකයි මේ වගේ ටොපික් එකක් තෝරාගත්තේ. ලියාගෙන යද්දී මැද හරියේදී තේරුණා දිග වැඩි වගේ. ඒ නිසා කොටස් දෙකකට ලියන්නම් කියල හිතුවා. අනේ ඉතින් වෙඩින් ඉන්ඩස්ට්‍රී එකේ ඉන්න යාළුවෝ කියවල තරහ ගන්ට එපා. එන්ජෝයි...!

මේක කියවන ඔබ සමහර විට දැනටමත් විවාහ වෙලා ඇති. සමහරවිට ඉදිරියේදී විවාහ වෙන්න හිතාගෙන ඇති (සමහරවිට මේ දවස් වල මගුලට දින එහෙම වෙන් කරගෙන වැඩ කිඩ එහෙම කරගෙන යනවත් ඇති). ඉතින් ඒ වගේ අයටත් දැනගන්න මෙන්න නවීන මගුල් ගැන මට හිතෙන දේ. 

මුලින්ම පටන් ගන්නම් අපේ අම්මලාගේ කාලෙන්ම. අම්මලම කියන විදියට ඒ කාලේ නම් මගුලක් කියන්නේ අපි දැන් ඔය දකිනවා වගේ සංකීරණ දෙයක් නෙමෙයි. සාරියක් හරි ඔසරියක් හරි චාමෙට මහගන්නවා. ගොඩක් වෙලාවට තමන්මයි එක කරගන්නේ. මනමාලයා නිලමේ කිට් එක හරි ජාතික ඇඳුම හරි, යුරෝපීය ඇඳුම හරි, එක්කෝ මහගන්නවා, නැති නම් කුලියට ගන්නවා. එදාට ඉතින් පවුඩර් මලකින් පවුඩර් ටිකක් ඉහගෙන, කොන්ඩේ පිළිවෙලකට පිරගෙන තමන් විසින්ම හැඩ වෙනවා. මල් බොකේ එකට වත්තෙන්ම මල් ටිකක් හොයාගෙන කොළ ටිකක් තියල අහුරලා ගන්නවා.මඟුල් ෆොටෝ කියලා තියෙන්නේ ඉතින් ස්ටුඩියෝ එකකට ගිහින් හෙන සීරියස් පිට ගහන ෆොටෝ එකක් තමයි. පවුලේ කට්ටිය එක්ක එකතු වෙලා කාල බීල සතුටු වෙනවා. ඔව් ඉතින් ඒ ඒ කාලෙනේ. ඔය කෝපි කාලේ කතා දැන් වැඩක් තියෙයිද? 

විජය-චන්ද්‍රිකා (1978)
More old wedding photos of popular Sri Lankans
කතාව ඇත්ත තමයි, කාලේ වෙනස් වෙනවා. හැබැයි සමහර දේවල් හොඳ පැත්තට වගේම නරක පැත්තටත් කාලය සමඟ වෙනස් වෙනවා. ඉතින් මංගල උත්සව කියන දේ කොහොමද වෙනස් වෙලා තියෙන්නේ. හැමෝටම අළුතින් පැහැදිලි කරන්න අවශ්‍ය නෑනේ, අද කාලේ මඟුලක් ගන්න හැටි ගැන. ගොඩක් දේවල් වගේම මඟුලක් ගන්න එකත් දැන් ෆැෂන් එකක් වෙලා ඉවරයි. කොටින්ම කිව්වොත් දැන් තියෙන්නේ "වෙඩින් ඉන්ඩස්ට්‍රී" එකක්. මේ ලඟදි මට ඇහුණ දෙයක් තමයි "පිස්සුවක් නැත්නම් ඉන්ඩස්ට්‍රී එකක් නෑ" කියන ප්‍රකාශය (කිව්වේ කැළුම් ශ්‍රීමාල් මහත්තයා). එහෙම බැලුවොත් ලංකාවේ මඟුල් කියන්නෙත් පිස්සුවක්ද? ඇත්ත කතාව ලංකාවේ විතරක් නෙමෙයි ඔය ට්‍රෙන්ඩ් එක තියෙන්නේ. මේ ලගදී මං දැක්කා ඇමරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ මඟුල් වියදම් ගැන කරන සංසන්දනයක් (කොහෙත් ප්‍රශ්න අප්පා). ඔය පරිණාමනය උනේ කවද්ද කියන්න මට අදහසක් නෑ. හැබැයි මීට අවුරුදු 10කට කලින් කටුස්සාගේ අක්කතුමී විවාහ වෙනකොට මේ ට්‍රෙන්ඩ් එක ලාවට වගේ පටන් අරන් තිබ්බ කියල නම් මතකයි. ඔන්න ඔහේ නිකමට වගේ ජොලියට වගේ මුල ඉඳන් අගට සාරාංශ කරලා බලමුද අද කාලේ මඟුලක තියෙන, වෙන දේ ගැන...

1. මුලින්ම ඉතින් ඕනි වෙන්නේ මඟුලක් ගන්න අවශ්‍යතාවක්. දෙන්නෙක් මුණ ගැහිලා ආදරේ කරලා හරි, ගෙවල් වල උදවියගේ වදෙන් බේරෙන්න කපු අන්කල් සෙට් කරපු එකකට කැමති වෙලා හරි කපල් එකක් එකතු උණාට පස්සේ මගුලක් ගන්න කියලා අදහස එක එක විදියට එන්න පුළුවන්. "මේවා දැන් පිළිවෙලක් උනොත් නරකද?" කියල කියන තාත්තාගෙන් හරි අම්මගෙන් හරි (බඳින්න ඇඟිලි ගැන ගැන ඉන්න) සහෝදරයෙක් සහෝදරියෙක්ගෙන් හරි, "පුංචි නෝනගේ වැඩේ ඉක්මන් කරමු නේද?" කියලා කියන (කමිෂන් එක බලාපොරොත්තුවෙන් ඉන්න) කපු අන්කල්ගෙන් හරි, "ළමයාගේ කල වයසත් යනවා නේද?" කියල අහන වදකාර නෑයෝන්ගෙන් (වැඩිපුරම ඇන්ටිලා) හරි  "අනේ අපි දැන් අපි බඳිමු" කියල කියන පෙම්වතීගෙන් හරි තමයි පළමු වෙඩි මුරය පත්තු වෙන්නේ (පෙම්වතීලා විතරද බොල පෙම්වතලා එහෙම කියන්නැද්ද? කොල්ලෝ කවද්ද කිව්වේ අපි බඳිමු කියලා, වෙන දෙයක් ගැන කතා කරමුද? ☺)...

සාරංග-උමාලි (2014)
Source and more photos
2. කොහොම හරි ඉතින් වැඩේ පත්තු වෙනවනේ. ඔන්න ඉතින් දෙන්න දෙපැත්තෙන් චැට් කරල ගෙවල් වලට අවසාන තීරණය දෙනවා. "හරි බඳිමු". ඔන්න ඉතින් ගෙවල් වල කට්ටිය එහෙම එකතු වෙලා කතා බහ කරනවා කොයි කාලේද මඟුල ගන්නේ කියලා. මේ තීරණයට බලපාන සාධක ගොඩයි. නැකත් බලන්ට ඕනේ කියයි, කෝණ මාසේ කියයි (ඔන්න වැදගත් දෙයක් දැන් මතක් උනේ, කපල් එකේ කේන්දර මුල සිටම ගැලපෙන බවට උපකල්පනය කරමු, නැත්නම් බඳින්ට තියා හිතන්ටවත් පුලුවනෑ), අහවලා රට ඉඳලා එන්න ඕනි කියයි, අහවල් මාසේ ඔපරේෂන් එකක් කියයි, ගෙවල් රෙපෙයාර් කරන්ට ඕනේ කියයි, ඩිග්‍රිය ඉවර වෙනකම් ඉන්න ඕනේ කියයි ප්‍රශ්න කෝටියයි. මේ ගමන්ම උත්සවේ මුලික සැකැස්ම ගැනත් කතා වෙනවා. ඔය කියන්නේ දවස් දෙකක් ගන්නවද එක දවසින් ඉවර කරනවද (මේ දකින්නේ හීනයක්ද?), හෝල් එකක ගන්න්නවද ගෙදරම ගන්නවද වගේ දේවල්..

Picture source
3. හරි නම් ඉතින් හෝල් හොයන්ට යන්න කලින් මගුලට එන අයගේ ලිස්ට් එකක් හදාගන්න එක ඇගට ගුණයි. අඩු ගානේ එන ඔළු ගාන ගැනගන්න හරි. ඔන්න ඉතින් මනමාලයාගේ පැත්තෙනුයි මනමාලිගේ පැත්තෙනුයි වෙනම ලිස්ට් දෙකක් හදනවා. ලගම නෑයෝයි (මරණෙට වත් එපා අය නැතීව), දුර නෑයෝයි, නොකියම බැරි නෑයෝයි, නොකිව්වොත් කනක් ඇහිලා ඉන්න බැරි නෑයෝයි, වැඩපොළේ අයයි, අසල්වැසියොයි, දුවගේ යාළුවොයි, පුතාගේ යාළුවොයි සේරම එනකොට හොද ගණන්. ලිස්ට් දෙක එක තැනකට ආවම තමයි හොදම හරිය. අනිත් අයට සෙකන්ඩ් වෙලත් බෑ. ලිස්ට් එක කපන්නත් බෑ. ලිස්ට් එක දිග වෙලා ප්ලේට් ගාන වැඩි උණොත් ගෙවන්නත් බෑ බෑ වගේ. අන්තිමට ඉතින් ලිස්ට් දෙක වෙන වෙනම කැපී කැපී ගිහිල්ල ඔප්ටිමම් තැනකට එනවා. එතනින් එහාට ආය අඩු කරන්ට බෑ (එකතු කරනවා මිසක්, ආයිත් අහලා එකතු වෙනවා තමයි). ඔන්න ඉතින් දැන් එන ගාන ගැන අදහසක් තිබේ.  

4. හැබැයි ඉතින් ලැබ් එකේ (ගෙදරින්) මොනවා කලත් ෆීල්ඩ් එකට ගියාම (වෙඩින් හෝල් බුක් කරන්න ගියාම) තමයි සේරම රත්වෙන්නේ. නැකත් තියෙන මාසෙට හෝල් නෑ. හෝල් තියෙන මාසෙට නැකත් නෑ. හෝල් තියෙන නැකත් තියෙන මාසෙට මනමාලිට කැම්පස් එකේ ෆයිනල්ලු. මනමාලයට නිවාඩු නැතිලු. ඉඩ තියෙන හෝල් වල මෙනු එක හරි නෑ, මෙනු එක හරි තැන්වල ඉඩ නෑ. දෙකම තියෙන තැන් පට්ට ගණන්. ඔය කියන ප්ලේට් එක රත්තරන්ද මන්දා. ඔන්න ඔහොම හෝල් හෙවිල්ල වෙනම යුද්දයක්. නිසි කල නිසි අයුරින් හෙව්වේ නැතිනම් කළුනික වගේ තමයි. හැබැයි දැන් නම් ඉතින් පඳුරකට පයින් ගැහුවොත් වෙඩින් හෝල් තුන හතරක් හරි විසි වෙනවා. එහෙම විසි උනාට ඉතින් අර කියපු ප්‍රශ්න ටිකට උත්තර හොයාගෙන තමන්ගේ හිතේ තියෙන හෝල් එක බුක් කරන්න වාසනාව වගේම හෝල් එකේ මැනේජ්මන්ට් එක අඳුරන අන්කල් කෙනෙකුත් නැතිවම බෑ.

5. ඊට පස්සේ ඉතින් තියෙන්නේ මංගල දිනයට අදාළ දේවල් සුදානම් කිරීම. පිළිවෙලක් කියල නෑ, හැබැයි මෙන්න මේවා තමයි ඔය කියන්නේ,
දෙවෙනි මනමාලයෝ, මනමාලියෝ, මල් කුමාරයෝ කුමරියෝ 
මංගල ඇඳුම්/ පවුලේ අයගේ ඇඳුම් 
ආභරණ/ මල් කළඹ/ අනිත් පැළඳුම්
අන්දන අය (ගොනාට එහෙම නෙමෙයි)
හෝල් එකේ සැරසිලි කටයුතු/ පෝරුවක් / සෙටි බැක් / ටේබල් ඩෙකෝර්  
   ගොක් කොළ පෝරුවක්
Picture source
ෆෝටෝග්‍රැෆි/ වීඩියෝග්‍රැෆි සඳහා කට්ටිය 
සින්දු කියන්න බෑන්ඩ් එකක්/ ඩිජේ කෙනෙක් 
ඩාන්සින් ගෘප් එකක් (ඩාන්සින් ක්ලාස් එකකුත් හොයනවා සමහර අය නම්)
මඟුල් කාර් එකක් දෙකක් 
හනිමුන් එකට ලොකේෂන් 
ප්‍රී-ෂුට් එකට ලොකේෂන් 
අෂ්ටක කියන්න අන්කල් කෙනෙක් 
වෙඩින් කාඩ් 
වෙඩින් කේක් 
(බොන්න දෙනවනම්) ඩියුටි ෆ්‍රී ලිකර් සහ වෙනත් බීම/ බයිට්
ලිස්ට් එක දිගයි, එකක් දෙකක් මග ඇරුණත් හොයන්ට බෑ. 

මේවා ගැනත් පොඩි හරි විස්තරයක් නැති නම් හරි නැනේ නේද? (පලවෙනි එකම ඇදෙනවා වැඩිද මන්ද, වඳුරට කි බෝඩ් එක අහු උණා වගේ)

6. දෙවෙනි මනමාලයෝ මනමාලියෝ හොයන එක ලෙසිමත් නෑ. මනාල යුවල කැපිල පේන්නත් ඕනි. ගොඩක් වෙලාවට මනාල යුවලගේ ෆ්‍රෙන්ඩාලට ෆ්‍රෙන්ඩිලට තමයි ටොපිය සෙට් වෙන්නේ. අනිත් ටාගට් එක තමයි හැඩරුව ඇති කසින්ලා එහෙම (ඔය දෙවෙනි ඒවාට ගිහිල්ලා තමන්ගේ පරස්තාව හොයාගන්න සිද්ධිත් තියෙනවලු, චාන්ස් එකක් අවොත් ඇත අරින්න එපා එහෙනම්). මල් කුමර කුමරියෝ හොයන එකත් ටිකක් ට්‍රිකි වැඩක්. අවුරුද්දකට විතර කලින් පොඩි එව්වෝ තෝරාගෙන වෙඩින් එක ලංවෙලා බලද්දී මනමාලිට වඩා උසයි (වයසේ වැරැද්ද පොඩි උන්ට මොකුත් කියන්ට බෑ). ඔත්තේ ඉරට්ටේ ප්‍රශ්නත් එන බව ඇහිලා තියෙනවා (ඇත්තද මන්දා).

දිනේෂ්-හසිනි (2012)
Picture source and more photos
7. උඩරට ඇඳුමද යුරෝපීය ඇඳුමද, කඩෙන් ගන්නවද, රෙන්ට් කරනවද? ගොඩක් වෙලාවට නිලමේ ඇඳුම් එහෙම නම් රෙන්ට් කරනවා දැන්. හෝල් වගේම තමයි, පඳුරකට ගැහුවාම විසිවෙන ගානයි. වැඩේ තියෙන්නේ වස්දොස් නැති ඇඳුමක් තෝරන එකලු (දැන් නම් ඒ තර්කෙ යල් පන ගිය එකක් වගේ). සමහර තැන වලින් නම් පෙවෙන්න එහෙමත් උපදෙස් දෙනවා, එහෙම ඕනි කමක් නැති නම් එහෙම තැනුත් තියෙනවා. මනමාලිගේ ඇඳුම තමයි වැඩිපුරම සිරා. ඕකට රෙදි හොයන්ට ඕනේ, කාට හරි දීලා වර්ක් පාරක් දාගන්න ඕනේ, සාරි ජැකට් එක මහගන්න ඕනේ.  වර්ක් එක දැම්මාම ඉතින් සාරියේ බර 1000%කින් විතර වැඩි වෙනවා. බොරු නෙමෙයි, ඊළග පාර මඟුලකට ගියාම පොඩ්ඩක් සාරිය උස්සලා බලන්නකෝ ☺. සිරිතක් විදියට නැති උනත් මනමාලිගේ සාරිය හොයන්න යද්දී පවුල් දෙකේ අනිත් අයටත් ඇදුම් ගන්නවා නේද ඉතින්. ලෙසිනේ වැඩේ. ලකුණු දාගන්නත් පුළුවන්. හැබැයි බිල ගෙවන එකාට දෙවි පිහිටයි.

Picture credits - Sugath Kumara
More photos from Dewmi Studio
8. ගොඩක් වෙලාවට අන්දන අය ගාව මංගල ඇඳුම් වලට අදාළ පැළඳුම් ටික තියෙනවා. හැබැයි ඉතින් පෝරුව උඩදී මාරු කරන්න මුදු මාල, සෙරෙප්පු සපත්තු එහෙම එළියෙන් ගන්ට වෙනවා. මුදු එහෙමනම් ලං වෙනකම් ඉදලා හදන එක තමයි හොඳ කියලා තමයි කටුස්සාගේ නම් අදහස (අත්දැකීමෙන් කියන්නේ, ඔය ෆොටෝ එකේ තියෙන්නේ කටුස්සගෙයි නෝනගෙයි මඟුල් මුදු දෙක). වෙන දෙකට නෙමෙයි බොල, ඇඟිලි වල සයිස් එක වෙනස් වෙන හින්දා (මනමාලයා මනමාලි මාරු වෙන හින්දා හෙම නෙමෙයි ඔන්න, අද කාලේ නම් එහෙමත් වෙන්න බැරි නෑ). මල් කළඹත් සාරිය වර්ක් කරන අයම කරලා දෙනවා. හැබැයි අඳුරන කලා රිටෙක් ඉන්නවනම් කියලා ෆ්‍රී එකේ හදාගන්නත් බැරි කමක් නෑ.


9. ඔන්න ඉතින් මනමාලි අන්දන කෙනා හොයන එක ඊළඟට. ආයෙත් අර පඳුරු කතාව කියල වැඩක් නෑ. මොකද ගොඩක් වෙලාවට නැකැත් දවස් වලට තමයි සේරම වෙඩින් සෙට් වෙන්නේ. ඔය ගොඩක් අන්දන අය එක දවසට දෙක තුන හතර පහ එහෙමත් අන්දනවා. ඒ හින්ද ලොකු අවුලක් නෑ, උදේ ඇහැරෙන එක ඇරෙන්න. උදේ කියන්නේ පාන්දර එකට දෙකට විතර. සැලුන් එකට ගිහින් අඳිනවානම් එහෙමයි, ගෙදරට ඇවිත් අන්දනවානම් එහෙමයි. කොහොම කලත් ඇන්දෙනවා (ඒකත් ගොනාට නෙමෙයි).  මනමාලයට නම් ඉතින් නිලමේ ඇඳුම අන්දනවානම් රෙන්ට් කරන තැනින්ම වැඩේ කරලා දෙනවා. කොල්ලට මේක්-අප් දාන්ට කවුරුත් නෑ. එහෙමත් නෑ, දැන්නම් එකටත් කට්ටිය ඇති දැන්. 

Picture source
10. සැරසිලි කරන එක නම් කෙලින්ම තුන්වන පාර්ශවයකට දෙන එක තමයි ගොඩක්ම වෙන්නේ. ඇඟට ගුණත් එකම තමයි එක අතකට. මොකද 250ක් දාන හෝල් එකකට සැරසිලි කරනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. ඔය කියන ඩෙකෝ උදවිය ගාව පැකේජ් ගොඩයි. තමන්ගේ බජට් එකට හරි යන්ට අඩු කරලා වැඩි කරලා සැරසිලි කරගන්නයි තියෙන්නේ. පෝරුවයි සෙටි බැක් එකයි ඩෙකෝ එහෙමත් එක එක කොන්සේප්ට් එකට අනුව තෝරාගන්න පුළුවන්. වෙඩින් එකට සුදු මල් - හෝම් කමින් එකට රතු මල්. ෆ්‍රෙෂ් මල් නම් ගණන් වැඩි-ප්ලාස්ටික් මල් නම් ගණන් අඩුයි, නුවර එළියේ රෝස මල් නම් ගණන් වැඩි-නෙලුම් පොහොට්ටු රෝස මල් නම් ගණන් අඩුයි. පෝරු එහෙම තෝරන කොට හෝල් එකේ සෙට්-අප් ගැනත් හිතලා බලන එක හොඳයි. එක නම් එච්චර අමාරු නෑ. ඩෙකෝ උදවියට හෝල් එකේ නම කියන්න විතරයි තියෙන්නේ. එයාලා අනිවා ඔය කියන හෝල් එකට මාසෙකට කීප සැරයක් යන එන අයනේ.

මේක හරියන්නේ නෑ පුතී, දිගට දිගට ඇදෙනවා වැඩි වගේ. මිනිස්සුන්ට මේ කියන විදිය අල්ලනවදත් මන්දා. කොහොම හරි ඊලග ටික වෙන පොස්ට් එකකින් කියන්නම්. දැනට නවතින්නම්. කියවලා බලලා අඩුපාඩු තියෙයි නම් කියලා යන්ට. ඊලග එක හොඳට ලියන්ට ඒක උදව් වෙයිනෙ. 

ඉවරයක් නැති වෙඩින් කතාවේ දෙවෙනි කොටස මෙතැනින් කියවන්න


ආයුබෝවන්

වෙලාවකට මං මෙන්න මේ වගේ. හිතේ කල්පනා
ගොඩයි, කරගන්න දෙයක් නැතිව ඔහේ බලන් ඉන්නවා.
නුවර වැවේ වටේ යද්දි ගත්තු ෆොටෝ එකක් (2014)
ආයුබෝවන් යාළුවා.. ඉතින් කොහොමද? මං මෙහෙට අලුත්. මගේ නමක් ගමක් තියෙනවා, හැබැයි ඉතින් ලේසියට මතකේ තියාගන්න මගේ බ්ලොග් නම "කටුස්සා".

තවත් බ්ලොග් එකකට අන්තර්ජාලයේ ඉඩ තියෙනවද කියල මට එච්චරම අවබෝධයක් නැහැ. ඒත් හිතේ ඇතිවෙන අදහස්, හැගීම්, බලාපොරොත්තු, සංවාද,  විසංවාද හිතේම වියැකිලා යන්න නොදී ප්‍රකාශ කරන්න මගක් මන් හොයා හොයා හිටියේ සැහෙන කලෙක ඉදන්. බ්ලොග් එකක් ඒකට හොද මගක් කියල සැහෙන්න හිතුනත් අධ්‍යාපන වැඩ කටයුතුත් එක්ක මේ දේ පටන් ගන්න සැහෙන කල් ගියා. කාලයේ බාධකය මැඩගෙන වැඩේ පටන් ගන්නයි මේ සූදානම. 

මෙතැන් සිට මගේ හිතේ ඇතිවෙන ආදරය, දේශපාලනය, ක්‍රීඩාව, සිනමාව, මාධ්‍ය වගේ අංශ ගැන මට හැගෙන හැටි මට දැනෙන හැටි සයිබර් අවකාශයට මුදාහරින්න මන් සුදානම්. ඒක අනිත් ඈයෝ කොහොම භාරගනිද කියන එක මං කියන්න දන්නේ නෑ. හැබැයි මෙතන ඉදිරියට ලියවෙන දේවල් කියවල ඒ ගැන යම් අදහසක්, සැකයක්, ප්‍රශංසාවක් හෝ බැනුමක් තියෙනවා නම් ඒක සටහන් කරලා යන්න අමතක කරන්න එපා.

ඇත්තටම කිව්වොත් මං නිතර බ්ලොග් කියවන්නෙක් නෙමෙයි, සමහරවිට ඉදිරියට එහෙම වෙන එකකුත් නැහැ. ඒ නිසා බ්ලොග් කියන්නේ මොන වගේ දෙයක්ද කියලවත් මට ඒ හැටි අදහසක් නැහැ. කොහොමහරි වැඩේ පටන් අරන් බලමු...!

Keep in touch......!!!