Monday, February 27, 2017

මේක මඟුල් සක්වලක් - I

පසු සටහන කලින්ම: මේක පලවෙනි පොස්ටුවනේ, එකයි මේ වගේ ටොපික් එකක් තෝරාගත්තේ. ලියාගෙන යද්දී මැද හරියේදී තේරුණා දිග වැඩි වගේ. ඒ නිසා කොටස් දෙකකට ලියන්නම් කියල හිතුවා. අනේ ඉතින් වෙඩින් ඉන්ඩස්ට්‍රී එකේ ඉන්න යාළුවෝ කියවල තරහ ගන්ට එපා. එන්ජෝයි...!

මේක කියවන ඔබ සමහර විට දැනටමත් විවාහ වෙලා ඇති. සමහරවිට ඉදිරියේදී විවාහ වෙන්න හිතාගෙන ඇති (සමහරවිට මේ දවස් වල මගුලට දින එහෙම වෙන් කරගෙන වැඩ කිඩ එහෙම කරගෙන යනවත් ඇති). ඉතින් ඒ වගේ අයටත් දැනගන්න මෙන්න නවීන මගුල් ගැන මට හිතෙන දේ. 

මුලින්ම පටන් ගන්නම් අපේ අම්මලාගේ කාලෙන්ම. අම්මලම කියන විදියට ඒ කාලේ නම් මගුලක් කියන්නේ අපි දැන් ඔය දකිනවා වගේ සංකීරණ දෙයක් නෙමෙයි. සාරියක් හරි ඔසරියක් හරි චාමෙට මහගන්නවා. ගොඩක් වෙලාවට තමන්මයි එක කරගන්නේ. මනමාලයා නිලමේ කිට් එක හරි ජාතික ඇඳුම හරි, යුරෝපීය ඇඳුම හරි, එක්කෝ මහගන්නවා, නැති නම් කුලියට ගන්නවා. එදාට ඉතින් පවුඩර් මලකින් පවුඩර් ටිකක් ඉහගෙන, කොන්ඩේ පිළිවෙලකට පිරගෙන තමන් විසින්ම හැඩ වෙනවා. මල් බොකේ එකට වත්තෙන්ම මල් ටිකක් හොයාගෙන කොළ ටිකක් තියල අහුරලා ගන්නවා.මඟුල් ෆොටෝ කියලා තියෙන්නේ ඉතින් ස්ටුඩියෝ එකකට ගිහින් හෙන සීරියස් පිට ගහන ෆොටෝ එකක් තමයි. පවුලේ කට්ටිය එක්ක එකතු වෙලා කාල බීල සතුටු වෙනවා. ඔව් ඉතින් ඒ ඒ කාලෙනේ. ඔය කෝපි කාලේ කතා දැන් වැඩක් තියෙයිද? 

විජය-චන්ද්‍රිකා (1978)
More old wedding photos of popular Sri Lankans
කතාව ඇත්ත තමයි, කාලේ වෙනස් වෙනවා. හැබැයි සමහර දේවල් හොඳ පැත්තට වගේම නරක පැත්තටත් කාලය සමඟ වෙනස් වෙනවා. ඉතින් මංගල උත්සව කියන දේ කොහොමද වෙනස් වෙලා තියෙන්නේ. හැමෝටම අළුතින් පැහැදිලි කරන්න අවශ්‍ය නෑනේ, අද කාලේ මඟුලක් ගන්න හැටි ගැන. ගොඩක් දේවල් වගේම මඟුලක් ගන්න එකත් දැන් ෆැෂන් එකක් වෙලා ඉවරයි. කොටින්ම කිව්වොත් දැන් තියෙන්නේ "වෙඩින් ඉන්ඩස්ට්‍රී" එකක්. මේ ලඟදි මට ඇහුණ දෙයක් තමයි "පිස්සුවක් නැත්නම් ඉන්ඩස්ට්‍රී එකක් නෑ" කියන ප්‍රකාශය (කිව්වේ කැළුම් ශ්‍රීමාල් මහත්තයා). එහෙම බැලුවොත් ලංකාවේ මඟුල් කියන්නෙත් පිස්සුවක්ද? ඇත්ත කතාව ලංකාවේ විතරක් නෙමෙයි ඔය ට්‍රෙන්ඩ් එක තියෙන්නේ. මේ ලගදී මං දැක්කා ඇමරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ මඟුල් වියදම් ගැන කරන සංසන්දනයක් (කොහෙත් ප්‍රශ්න අප්පා). ඔය පරිණාමනය උනේ කවද්ද කියන්න මට අදහසක් නෑ. හැබැයි මීට අවුරුදු 10කට කලින් කටුස්සාගේ අක්කතුමී විවාහ වෙනකොට මේ ට්‍රෙන්ඩ් එක ලාවට වගේ පටන් අරන් තිබ්බ කියල නම් මතකයි. ඔන්න ඔහේ නිකමට වගේ ජොලියට වගේ මුල ඉඳන් අගට සාරාංශ කරලා බලමුද අද කාලේ මඟුලක තියෙන, වෙන දේ ගැන...

1. මුලින්ම ඉතින් ඕනි වෙන්නේ මඟුලක් ගන්න අවශ්‍යතාවක්. දෙන්නෙක් මුණ ගැහිලා ආදරේ කරලා හරි, ගෙවල් වල උදවියගේ වදෙන් බේරෙන්න කපු අන්කල් සෙට් කරපු එකකට කැමති වෙලා හරි කපල් එකක් එකතු උණාට පස්සේ මගුලක් ගන්න කියලා අදහස එක එක විදියට එන්න පුළුවන්. "මේවා දැන් පිළිවෙලක් උනොත් නරකද?" කියල කියන තාත්තාගෙන් හරි අම්මගෙන් හරි (බඳින්න ඇඟිලි ගැන ගැන ඉන්න) සහෝදරයෙක් සහෝදරියෙක්ගෙන් හරි, "පුංචි නෝනගේ වැඩේ ඉක්මන් කරමු නේද?" කියලා කියන (කමිෂන් එක බලාපොරොත්තුවෙන් ඉන්න) කපු අන්කල්ගෙන් හරි, "ළමයාගේ කල වයසත් යනවා නේද?" කියල අහන වදකාර නෑයෝන්ගෙන් (වැඩිපුරම ඇන්ටිලා) හරි  "අනේ අපි දැන් අපි බඳිමු" කියල කියන පෙම්වතීගෙන් හරි තමයි පළමු වෙඩි මුරය පත්තු වෙන්නේ (පෙම්වතීලා විතරද බොල පෙම්වතලා එහෙම කියන්නැද්ද? කොල්ලෝ කවද්ද කිව්වේ අපි බඳිමු කියලා, වෙන දෙයක් ගැන කතා කරමුද? ☺)...

සාරංග-උමාලි (2014)
Source and more photos
2. කොහොම හරි ඉතින් වැඩේ පත්තු වෙනවනේ. ඔන්න ඉතින් දෙන්න දෙපැත්තෙන් චැට් කරල ගෙවල් වලට අවසාන තීරණය දෙනවා. "හරි බඳිමු". ඔන්න ඉතින් ගෙවල් වල කට්ටිය එහෙම එකතු වෙලා කතා බහ කරනවා කොයි කාලේද මඟුල ගන්නේ කියලා. මේ තීරණයට බලපාන සාධක ගොඩයි. නැකත් බලන්ට ඕනේ කියයි, කෝණ මාසේ කියයි (ඔන්න වැදගත් දෙයක් දැන් මතක් උනේ, කපල් එකේ කේන්දර මුල සිටම ගැලපෙන බවට උපකල්පනය කරමු, නැත්නම් බඳින්ට තියා හිතන්ටවත් පුලුවනෑ), අහවලා රට ඉඳලා එන්න ඕනි කියයි, අහවල් මාසේ ඔපරේෂන් එකක් කියයි, ගෙවල් රෙපෙයාර් කරන්ට ඕනේ කියයි, ඩිග්‍රිය ඉවර වෙනකම් ඉන්න ඕනේ කියයි ප්‍රශ්න කෝටියයි. මේ ගමන්ම උත්සවේ මුලික සැකැස්ම ගැනත් කතා වෙනවා. ඔය කියන්නේ දවස් දෙකක් ගන්නවද එක දවසින් ඉවර කරනවද (මේ දකින්නේ හීනයක්ද?), හෝල් එකක ගන්න්නවද ගෙදරම ගන්නවද වගේ දේවල්..

Picture source
3. හරි නම් ඉතින් හෝල් හොයන්ට යන්න කලින් මගුලට එන අයගේ ලිස්ට් එකක් හදාගන්න එක ඇගට ගුණයි. අඩු ගානේ එන ඔළු ගාන ගැනගන්න හරි. ඔන්න ඉතින් මනමාලයාගේ පැත්තෙනුයි මනමාලිගේ පැත්තෙනුයි වෙනම ලිස්ට් දෙකක් හදනවා. ලගම නෑයෝයි (මරණෙට වත් එපා අය නැතීව), දුර නෑයෝයි, නොකියම බැරි නෑයෝයි, නොකිව්වොත් කනක් ඇහිලා ඉන්න බැරි නෑයෝයි, වැඩපොළේ අයයි, අසල්වැසියොයි, දුවගේ යාළුවොයි, පුතාගේ යාළුවොයි සේරම එනකොට හොද ගණන්. ලිස්ට් දෙක එක තැනකට ආවම තමයි හොදම හරිය. අනිත් අයට සෙකන්ඩ් වෙලත් බෑ. ලිස්ට් එක කපන්නත් බෑ. ලිස්ට් එක දිග වෙලා ප්ලේට් ගාන වැඩි උණොත් ගෙවන්නත් බෑ බෑ වගේ. අන්තිමට ඉතින් ලිස්ට් දෙක වෙන වෙනම කැපී කැපී ගිහිල්ල ඔප්ටිමම් තැනකට එනවා. එතනින් එහාට ආය අඩු කරන්ට බෑ (එකතු කරනවා මිසක්, ආයිත් අහලා එකතු වෙනවා තමයි). ඔන්න ඉතින් දැන් එන ගාන ගැන අදහසක් තිබේ.  

4. හැබැයි ඉතින් ලැබ් එකේ (ගෙදරින්) මොනවා කලත් ෆීල්ඩ් එකට ගියාම (වෙඩින් හෝල් බුක් කරන්න ගියාම) තමයි සේරම රත්වෙන්නේ. නැකත් තියෙන මාසෙට හෝල් නෑ. හෝල් තියෙන මාසෙට නැකත් නෑ. හෝල් තියෙන නැකත් තියෙන මාසෙට මනමාලිට කැම්පස් එකේ ෆයිනල්ලු. මනමාලයට නිවාඩු නැතිලු. ඉඩ තියෙන හෝල් වල මෙනු එක හරි නෑ, මෙනු එක හරි තැන්වල ඉඩ නෑ. දෙකම තියෙන තැන් පට්ට ගණන්. ඔය කියන ප්ලේට් එක රත්තරන්ද මන්දා. ඔන්න ඔහොම හෝල් හෙවිල්ල වෙනම යුද්දයක්. නිසි කල නිසි අයුරින් හෙව්වේ නැතිනම් කළුනික වගේ තමයි. හැබැයි දැන් නම් ඉතින් පඳුරකට පයින් ගැහුවොත් වෙඩින් හෝල් තුන හතරක් හරි විසි වෙනවා. එහෙම විසි උනාට ඉතින් අර කියපු ප්‍රශ්න ටිකට උත්තර හොයාගෙන තමන්ගේ හිතේ තියෙන හෝල් එක බුක් කරන්න වාසනාව වගේම හෝල් එකේ මැනේජ්මන්ට් එක අඳුරන අන්කල් කෙනෙකුත් නැතිවම බෑ.

5. ඊට පස්සේ ඉතින් තියෙන්නේ මංගල දිනයට අදාළ දේවල් සුදානම් කිරීම. පිළිවෙලක් කියල නෑ, හැබැයි මෙන්න මේවා තමයි ඔය කියන්නේ,
දෙවෙනි මනමාලයෝ, මනමාලියෝ, මල් කුමාරයෝ කුමරියෝ 
මංගල ඇඳුම්/ පවුලේ අයගේ ඇඳුම් 
ආභරණ/ මල් කළඹ/ අනිත් පැළඳුම්
අන්දන අය (ගොනාට එහෙම නෙමෙයි)
හෝල් එකේ සැරසිලි කටයුතු/ පෝරුවක් / සෙටි බැක් / ටේබල් ඩෙකෝර්  
   ගොක් කොළ පෝරුවක්
Picture source
ෆෝටෝග්‍රැෆි/ වීඩියෝග්‍රැෆි සඳහා කට්ටිය 
සින්දු කියන්න බෑන්ඩ් එකක්/ ඩිජේ කෙනෙක් 
ඩාන්සින් ගෘප් එකක් (ඩාන්සින් ක්ලාස් එකකුත් හොයනවා සමහර අය නම්)
මඟුල් කාර් එකක් දෙකක් 
හනිමුන් එකට ලොකේෂන් 
ප්‍රී-ෂුට් එකට ලොකේෂන් 
අෂ්ටක කියන්න අන්කල් කෙනෙක් 
වෙඩින් කාඩ් 
වෙඩින් කේක් 
(බොන්න දෙනවනම්) ඩියුටි ෆ්‍රී ලිකර් සහ වෙනත් බීම/ බයිට්
ලිස්ට් එක දිගයි, එකක් දෙකක් මග ඇරුණත් හොයන්ට බෑ. 

මේවා ගැනත් පොඩි හරි විස්තරයක් නැති නම් හරි නැනේ නේද? (පලවෙනි එකම ඇදෙනවා වැඩිද මන්ද, වඳුරට කි බෝඩ් එක අහු උණා වගේ)

6. දෙවෙනි මනමාලයෝ මනමාලියෝ හොයන එක ලෙසිමත් නෑ. මනාල යුවල කැපිල පේන්නත් ඕනි. ගොඩක් වෙලාවට මනාල යුවලගේ ෆ්‍රෙන්ඩාලට ෆ්‍රෙන්ඩිලට තමයි ටොපිය සෙට් වෙන්නේ. අනිත් ටාගට් එක තමයි හැඩරුව ඇති කසින්ලා එහෙම (ඔය දෙවෙනි ඒවාට ගිහිල්ලා තමන්ගේ පරස්තාව හොයාගන්න සිද්ධිත් තියෙනවලු, චාන්ස් එකක් අවොත් ඇත අරින්න එපා එහෙනම්). මල් කුමර කුමරියෝ හොයන එකත් ටිකක් ට්‍රිකි වැඩක්. අවුරුද්දකට විතර කලින් පොඩි එව්වෝ තෝරාගෙන වෙඩින් එක ලංවෙලා බලද්දී මනමාලිට වඩා උසයි (වයසේ වැරැද්ද පොඩි උන්ට මොකුත් කියන්ට බෑ). ඔත්තේ ඉරට්ටේ ප්‍රශ්නත් එන බව ඇහිලා තියෙනවා (ඇත්තද මන්දා).

දිනේෂ්-හසිනි (2012)
Picture source and more photos
7. උඩරට ඇඳුමද යුරෝපීය ඇඳුමද, කඩෙන් ගන්නවද, රෙන්ට් කරනවද? ගොඩක් වෙලාවට නිලමේ ඇඳුම් එහෙම නම් රෙන්ට් කරනවා දැන්. හෝල් වගේම තමයි, පඳුරකට ගැහුවාම විසිවෙන ගානයි. වැඩේ තියෙන්නේ වස්දොස් නැති ඇඳුමක් තෝරන එකලු (දැන් නම් ඒ තර්කෙ යල් පන ගිය එකක් වගේ). සමහර තැන වලින් නම් පෙවෙන්න එහෙමත් උපදෙස් දෙනවා, එහෙම ඕනි කමක් නැති නම් එහෙම තැනුත් තියෙනවා. මනමාලිගේ ඇඳුම තමයි වැඩිපුරම සිරා. ඕකට රෙදි හොයන්ට ඕනේ, කාට හරි දීලා වර්ක් පාරක් දාගන්න ඕනේ, සාරි ජැකට් එක මහගන්න ඕනේ.  වර්ක් එක දැම්මාම ඉතින් සාරියේ බර 1000%කින් විතර වැඩි වෙනවා. බොරු නෙමෙයි, ඊළග පාර මඟුලකට ගියාම පොඩ්ඩක් සාරිය උස්සලා බලන්නකෝ ☺. සිරිතක් විදියට නැති උනත් මනමාලිගේ සාරිය හොයන්න යද්දී පවුල් දෙකේ අනිත් අයටත් ඇදුම් ගන්නවා නේද ඉතින්. ලෙසිනේ වැඩේ. ලකුණු දාගන්නත් පුළුවන්. හැබැයි බිල ගෙවන එකාට දෙවි පිහිටයි.

Picture credits - Sugath Kumara
More photos from Dewmi Studio
8. ගොඩක් වෙලාවට අන්දන අය ගාව මංගල ඇඳුම් වලට අදාළ පැළඳුම් ටික තියෙනවා. හැබැයි ඉතින් පෝරුව උඩදී මාරු කරන්න මුදු මාල, සෙරෙප්පු සපත්තු එහෙම එළියෙන් ගන්ට වෙනවා. මුදු එහෙමනම් ලං වෙනකම් ඉදලා හදන එක තමයි හොඳ කියලා තමයි කටුස්සාගේ නම් අදහස (අත්දැකීමෙන් කියන්නේ, ඔය ෆොටෝ එකේ තියෙන්නේ කටුස්සගෙයි නෝනගෙයි මඟුල් මුදු දෙක). වෙන දෙකට නෙමෙයි බොල, ඇඟිලි වල සයිස් එක වෙනස් වෙන හින්දා (මනමාලයා මනමාලි මාරු වෙන හින්දා හෙම නෙමෙයි ඔන්න, අද කාලේ නම් එහෙමත් වෙන්න බැරි නෑ). මල් කළඹත් සාරිය වර්ක් කරන අයම කරලා දෙනවා. හැබැයි අඳුරන කලා රිටෙක් ඉන්නවනම් කියලා ෆ්‍රී එකේ හදාගන්නත් බැරි කමක් නෑ.


9. ඔන්න ඉතින් මනමාලි අන්දන කෙනා හොයන එක ඊළඟට. ආයෙත් අර පඳුරු කතාව කියල වැඩක් නෑ. මොකද ගොඩක් වෙලාවට නැකැත් දවස් වලට තමයි සේරම වෙඩින් සෙට් වෙන්නේ. ඔය ගොඩක් අන්දන අය එක දවසට දෙක තුන හතර පහ එහෙමත් අන්දනවා. ඒ හින්ද ලොකු අවුලක් නෑ, උදේ ඇහැරෙන එක ඇරෙන්න. උදේ කියන්නේ පාන්දර එකට දෙකට විතර. සැලුන් එකට ගිහින් අඳිනවානම් එහෙමයි, ගෙදරට ඇවිත් අන්දනවානම් එහෙමයි. කොහොම කලත් ඇන්දෙනවා (ඒකත් ගොනාට නෙමෙයි).  මනමාලයට නම් ඉතින් නිලමේ ඇඳුම අන්දනවානම් රෙන්ට් කරන තැනින්ම වැඩේ කරලා දෙනවා. කොල්ලට මේක්-අප් දාන්ට කවුරුත් නෑ. එහෙමත් නෑ, දැන්නම් එකටත් කට්ටිය ඇති දැන්. 

Picture source
10. සැරසිලි කරන එක නම් කෙලින්ම තුන්වන පාර්ශවයකට දෙන එක තමයි ගොඩක්ම වෙන්නේ. ඇඟට ගුණත් එකම තමයි එක අතකට. මොකද 250ක් දාන හෝල් එකකට සැරසිලි කරනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. ඔය කියන ඩෙකෝ උදවිය ගාව පැකේජ් ගොඩයි. තමන්ගේ බජට් එකට හරි යන්ට අඩු කරලා වැඩි කරලා සැරසිලි කරගන්නයි තියෙන්නේ. පෝරුවයි සෙටි බැක් එකයි ඩෙකෝ එහෙමත් එක එක කොන්සේප්ට් එකට අනුව තෝරාගන්න පුළුවන්. වෙඩින් එකට සුදු මල් - හෝම් කමින් එකට රතු මල්. ෆ්‍රෙෂ් මල් නම් ගණන් වැඩි-ප්ලාස්ටික් මල් නම් ගණන් අඩුයි, නුවර එළියේ රෝස මල් නම් ගණන් වැඩි-නෙලුම් පොහොට්ටු රෝස මල් නම් ගණන් අඩුයි. පෝරු එහෙම තෝරන කොට හෝල් එකේ සෙට්-අප් ගැනත් හිතලා බලන එක හොඳයි. එක නම් එච්චර අමාරු නෑ. ඩෙකෝ උදවියට හෝල් එකේ නම කියන්න විතරයි තියෙන්නේ. එයාලා අනිවා ඔය කියන හෝල් එකට මාසෙකට කීප සැරයක් යන එන අයනේ.

මේක හරියන්නේ නෑ පුතී, දිගට දිගට ඇදෙනවා වැඩි වගේ. මිනිස්සුන්ට මේ කියන විදිය අල්ලනවදත් මන්දා. කොහොම හරි ඊලග ටික වෙන පොස්ට් එකකින් කියන්නම්. දැනට නවතින්නම්. කියවලා බලලා අඩුපාඩු තියෙයි නම් කියලා යන්ට. ඊලග එක හොඳට ලියන්ට ඒක උදව් වෙයිනෙ. 

ඉවරයක් නැති වෙඩින් කතාවේ දෙවෙනි කොටස මෙතැනින් කියවන්න


No comments:

Post a Comment